Breaking News
recent

වෙබ් අඩවි සහ වෙබ් අඩවි නිර්මාණය පිළිඹඳ මූලික දැනුම


අද FaveRaves වෙතින් ඔබට කියලා දෙන්න යන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක් ගැන. ඒ වෙබ් අඩවි (websites) සහ ඒවා සාදා ගැනීම පිළිඹඳව. වර්ඨහ්මානය වෙනකොට අපි හැමෝටම වෙබ් අඩවි භාවිතය ගැන මූලික අවබෝධයක් තියනවා. ඔබට පුලුවන් මේ ලිපිය කියවලා ඔබ සතු ඒ මූලික දැනුම තවත් වැඩි කරගන්න.

අපි මුලින්ම බලමු මොනාද මේ වෙබ් අඩවි කියන්නේ කියලා. වෙබ් අඩවියක් කියන්නේ "එකම වසම් නාමයක් (domain name) යටතේ එකිනෙකට සම්බන්ධ වූ වෙබ් පිටු එකක් හෝ කිහිපයක්". වසම් නාමය (domain name) කියන එක ගැන අපි ඉස්සරහට කතා කරමු. වෙබ් අඩවියක් වෙත සාමාන්‍යයෙන් අපිට යොමුවෙන්න පුලුවන් අන්තර්ජාලය (internet) හරහා.  එහෙමත් නැත්තම් අන්තර්ජාල පහසුකම් ඇති පෞද්ගලික පෙදෙසි ජාලයක් (private local area network) හරහා වුනත් අපට පුලුවන් වෙබ් අඩවියක් වෙත සම්බන්ධ වෙන්න.

දැන් අපි බලමු වෙබ් අඩවියක් වෙත යොමුවෙන්න අපිට තිබිය යුතු දේවල් මොනාද කියලා.

1. අන්තර්ජාල පහසුකම - Internet connection
2. වෙබ් අඩවියේ වසම් නාමය -  Domain name of the website
3. වෙබ් බ්‍රව්සරය සහ සෙවුම් එන්ජීම - Web browser and Search engine

අන්තර්ජාල පහසුකම - කලින් සඳහන් කලා වගේම වෙබ් අඩවියක් හා සම්බන්ධ වෙන්න නම් අපිට අනිවාර්යයෙන්ම අන්තර්ජාල පහසුකම තිබිය යුතුයි. මෙම අන්තර්ජාල පහසුකම් අපිට ලබා දෙන අයට අපි කියනවා අන්තර්ජාල සේවා සැපයුම්කරුවන් (Internet Service Providers - ISPs) කියලා. ලංකාවේ ඒ වගේ ISPs ලා කීපදෙනෙක් තමයි පහතින් සඳහන් කරලා තියෙන්නේ,

1. Sri Lanka Telicom (SLT)
2. Dialog
3. Lanka Com
4. Lanka Bell

වෙබ් අඩවියේ වසම් නාමය - වසම් නාමය එහෙමත් නැත්නම් domain name කියන්නේ වෙබ් අඩවියට ලබා දීලා තියෙන එයටම ආවේනික නම. මෙම වසම් නාමය භාවිතා කරලා තමයි ඕනෑම වෙබ් අඩවියක් එයටම ආවේනිකව හඳුනාගන්නේ. මෙම නම ලබා දෙන්නේ  Domain Name System (DNS) කියන පද්ධතිය මඟින්. උදාහරණයක් විදියට www.facebook.com කියන්නේ වසම් නාමයක්.

වෙබ් බ්‍රව්සරය සහ සෙවුම් එන්ජීම - අන්තර්ජාල පහසුකම සහ වසම් නාමයට අමතරව අපට වෙබ් අඩවියක් වෙත යොමුවීමට අවශ්‍ය අනෙක් දේ තමයි වෙබ් බ්‍රව්සරය සහ සෙවුම් එන්ජීම. දැනට ලෝකයේ ප්‍රසිද්ධ වෙබ් බ්‍රව්සර සහ සෙවුම් එන්ජීම් කිහිපයක් පහතින් සඳහන් කරලා තියනවා.

වෙබ් බ්‍රව්සර - Chrome, Internet Explorer, Firefox, Safari, Opera
සෙවුම් එන්ජීම් - Google, Bing, Yahoo, Ask, Aol
හරි, දැන් අපි වෙබ් අඩවි ගැන මූලික අවබෝධයක් ලබා ගත්තා. ඊලඟට අපි දැනගමු වෙබ් අඩවි නිර්මාණය ගැන මූලික කරුණු කීපයක්. වෙබ් අඩවි නිර්මාණය (web developing) කියන්නේ අද ලෝකයේ හොඳ පිලිගැනීමක් තියන විෂය ක්ෂේත්‍රයක්. ඒ නිසාම බොහෝ දෙනෙක් මේ විෂයට යොමු වෙලා තියනවා. සාමාන්‍ය වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීම තනි කෙනෙකුට වුනත් කරන්න පුලුවන් වැඩක්. ඒත් facebook, ebay, amazon වගේ විශාල වෙබ් අඩවි නිර්මාණය සහ පාලනය කිරීමට විශාල පිරිසක් ඕන වෙනවා. ඒ වගේ වෙබ් අඩවි පාලනය කිරීම ඉතාමත් අමාරු වැඩක්. මොකද එවැනි වෙබ් අඩවි පැය 24 පුරාම ක්‍රියාතමක වෙන්න ඕනේ නිසා.

වෙබ් අඩවියක් නිර්මාණයේදී අපි විසින් සපුරා ගන්න ඕන කරන දේවල් කීපයක් තියනවා. පහතින් දක්වලා තියෙන්නේ ඒ දේවල්.

1. වෙබ් අඩවි නිර්මාණය කරන මෘදුකාංගයක් හෝ වෙබ් අඩවි නිර්මාණය කරන භාෂා පිලිඹඳ දැනුම - Web developing tool or Knowledge of web languages
2. වෙබ් සත්කාරයක් - Web host
3. වසම් නාමය - Domain name
4. අන්තර්ජාල පහසුකම - Internet connection

වෙබ් අඩවි නිර්මාණය කරන මෘදුකාංගයක් හෝ වෙබ් අඩවි නිර්මාණය කරන භාෂා පිලිඹඳ දැනුම :
දැනට නිකුත් වෙලා තියෙන විවිධ ආකාරයේ සංකීර්ණ ඒ වගේම පහසු වෙබ් අඩවි නිර්මාණය කරන මෘදුකාංග කොතරම් තිබෙනවාද කියනවනම් ඕනෑම කෙනෙකුට පුලුවන් වෙබ් අඩවි නිර්මාණය කරන භාෂා පිලිඹඳ කිසිම දැනුමක් නැතිවම වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න. එවැනි මෘදුකාංග සහ සේවාවන් කීපයක් තමයි මේ,
Wordpress, Joomla, Dreamweaver, Weebly, Web.com, Wix, Google Web Designer.
මේ කොතරම්  මෘදුකාංග සහ සේවාවන් තිබුනත් වෙබ් අඩවි නිර්මාණය කරන භාෂා ගැන යම් තරමක හෝ දැනීමක් තිබීම වැදගත්. එවැනි භාෂා කිහිපයක් තමයි, HTML, CSS, PHP, JavaScript, JQuery, J2EE කියන්නේ. අපි FaveRaves වෙතින් බලාපොරත්තු වෙනවා ඉදිරියේදී මෙම භාෂා සහ මෘදුකාංග භාවිතය පිලිඹඳ පාඩම් මාලාවක් ඔබට ගෙන එන්න.

වෙබ් සත්කාරක :
ඔබ නිර්මාණය කරන වෙබ් අඩවියට ඕනෑම කෙනෙකුට පිවිසිය හැකි වෙන්න එය තැන්පත් කර තබන්න ඕනේ යම් තැනක. එවැනි සේවාවක් සපයන ආයතන වලට කියනවා වෙබ් සත්කාරක සේවා (Web hosting services) ආයතන කියලා. ලෝකය පුරා බොහෝමයක් වෙබ් සත්කාරක ආයතන තියනවා. ඔවුන් ඔබගේ වෙබ් අඩවිය තැන්පත් කර තබන්න ඔබෙන් ගාස්තුවක් අය කරනවා. ඒ අය කරන ගාස්තුවට අනුව ඔබට ලැබෙනවා යම් ඉඩ ප්‍රමාණයක් ඔබගේ වෙබ් අඩවිය තැන්පත් කර තබන්න. ඒ ඉඩ ප්‍රමාණය මදිනම් ඔබට පුලුවන් අමතර ගාස්තුවක් ගෙවලා තවත් ඉඩ ලබා ගන්න. නොමිලේ මෙම සේවාව සපයන ආයතනත් තියනවා. ඒත් එතකොට ඔබේ වෙබ් අඩවියේ ඔවුන්ගේ ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය වෙනවා. වෙබ් සත්කාරක සේවාව සපයන ආයතන කීපයක් තමයි, HostGator, iPage, JustHost, DreamHost, BlueHost, InMotion Hosting, FatCow කියන්නේ.



වසම් නාමය :
මේ ගැන අපි කලිනුත් කතා කලා. වසම් නාමය කියන්නේ අපේ වෙබ් අඩවියට ආවේනික නම. වසම් නාමයක් අපි ලබා ගන්නේ කොහොමද? ඒ සේවාව සැපයීම සඳහාම වෙන් වුන වෙබ් අඩවි තියනවා. පහතින් තියෙන්නේ එවැනි වෙබ් අඩවි කීපයක්.

1. GoDaddy
2. Register.com
3. LK Domain Registry
4. HostGator
5. Domain.com

මේ ඕනෑම වෙබ් අඩවියකට ගිහින් ඔබට අවශ්‍ය වසම් නාමය මුදල් ගෙවලා ලියාපදිංචි කරගන්න පුලුවන්. ඔබේ වෙබ් අඩවිය සඳහා වසම් නාමයක් (domain name) තෝරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් මොනවාද? මුලින්ම ඔබ තෝරාගන්න වසම් නාමය තේරුම් ගැනීමට පහසු, කෙටි එකක් වෙන්න ඕනෙ. එතකොට තමයි ඕනම කෙනෙක්ට පුලුවන් වෙන්නේ පහසුවෙන්ම ඔබගේ වෙබ් අඩවිය අන්තර්ජාලයේ හොයාගන්න. ඊලඟ දේ තමයි Top Level Domain (TLD) කියන එක. ඔබ දැකලා ඇති ඕනම වෙබ් අඩවියක වසම් නාමය අගට තියනවා .com, .org, .lk වගේ කොටසක්. ඒකට තමයි අපි කියන්නේ Top Level Domain (TLD) කියලා. ඔබගේ වෙබ් අඩවියේ අරමුණ අනුව මේක වෙනස් කරගන්න පුලුවන්. සාමාන්‍ය භාවිතයේදී නම් අපි ගන්නේ .com කියන TLD එක. අධ්‍යාපනික ආයතනයක වෙබ් අඩවියක් නම් ඔබට පුලුවන් .edu කියන TLD එක ගන්න. .org කියන්නේ ඒ වෙබ් අඩවිය වාණිජමය නොවන ආයතනයකට සම්බන්ධයි කියන එක. .net කිව්වොත් එය ජාල (network) හා සම්බන්ධ වෙබ් අඩවියක්. මේ වගේ රටින් රටටත් ආවේණික වෙනම TLDs තියනවා. ලංකාවට තියෙන්නේ .lk කියන නම. ඇමෙරිකාව .us, ඕස්ට්‍රේලියාව .au, ඉන්දියාව .in යනුවෙන් ගොඩක් රටවලට TLDs තියනවා.

අන්තර්ජාල පහසුකම :
අවසාන වශයෙන් ඔබට තියෙන්න ඕනේ දේ තමයි අන්තර්ජාල පහසුකම. ඇත්තටම මෙය ඕන වෙන්නේ වෙබ් අඩවිය සෑදීමට නෙමෙයි. හදාගෙන ඉවර වුනාම එය වෙබ් සත්කාරක සේවාවේ ඔබට ලබා දී තිබෙන ඉඩට උඩුගත (upload) කරන්න. මෙහිදී සමහර අවස්ථාවල ඔබට සිදුවෙනවා FileZilla, SmartFTP යන මෘදුකාංග භාවිතා කරන්නත්. ඒ කොහොම වුනත් ඔබට පුලුවන් ඔබගේ පරිගණකයේ අන්තර්ජාල පහසුකම නැතුවම වෙබ් අඩවිය නිර්මාණය කරගැනීම කරන්න.

දැන් ඔබට වෙබ් අඩවි සහ වෙබ් අඩවි නිර්මාණය ගැන මූලික දැනීම තියනවා. අපි ඉස්සරහට කතා කරමු විවිධ මෘදුකාංග සහ වෙබ් භාෂා භාවිතා කරලා කොහොමද වෙබ් අඩවියක් ඔබ විසින්ම හදාගන්නේ කියලා. ඔබට තියන ප්‍රශ්න, අදහස් අප වෙත යොමු කරන්නත් අමතක කරන්න එපා.

No comments:

Post a Comment

Powered by Blogger.