Breaking News
recent

2050 වන විට සාගර තුළ ප්ලාස්ටික් ප්‍රතිශතය මත්ස්‍ය ප්‍රතිශතය ඉක්මවා යන ලකුණු !!!


Ellen MacArthur (එලන් මැකාර්තර්) පදනම විසින් කරන ලද අලුත්ම පර්යේශණයකට අනුව සාගර ජලය, ඉවතලන ප්ලාස්ටික් මගින් දූශණය වීම ඉතා වේගයෙන් සිදු වෙමින් පවතිනවා. එම සොයාගැනීම් වලට අනුව 2050 වසර වන විට එම ප්‍රතිශතය සාගරයේ මත්ස්‍ය ප්‍රතිශතයද ඉක්මවා යනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙබඳු තත්වයක් පෘතුවියේ ජීවීන්ගේ පැවැත්මට කෙසේ බලපානු ඇත්දැයි ඔබට සිතා ගත හැකිද?

1964 වර්ෂයේ සිට 2014 වසර වන විට ප්ලාස්ටික් නිෂ්පාදන ප්‍රතිශතය ටොන් 311 දක්වා දෙගුණ වී තියනවා. අදාළ පර්යේශණ වාර්තාව අනුව ඉදිරි වසර 20 තුළ මෙය නැවත වාරයක් දෙගුණ වනු ඇති අතර 2050 වසර වන විට එය හතර ගුණයක් දක්වා වැඩි වනු ඇති බවට අපේක්ෂා කරනවා. වෙරළාශ්‍රිත රටවල් 192ක් අධ්‍යයනය කිරීමෙන් පසුව කරන ලද විශ්ලේශනයන්ට අනුව එම රටවල් සියල්ලෙන්ම 2010 වසරේ ඉවතලන ලද ප්ලාස්ටික් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 275ක් වූ අතර ඒවායින් මෙට්‍රික් ටොන් මිලියන 4.8ත් 12.7ත් අතර ප්‍රමාණයක් සාගරයට එකතු වී තියනවා. මෙම වාර්තාවට අනුව මෙයට ප්‍රධානම හේතුව වන්නේ ඉවත ලන ප්ලාස්ටික් නිසි ලෙස බැහැර කිරීමේ ක්‍රමවේද අනුගමනය කිරීමට තවමත් අප අපොහොසත් වීමයි. වසරකට මෙට්‍රික් ටොන් මිලියන 8කට ආසන්න ඉවතලන ප්ලාස්ටික් ප්‍රමාණයක් අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලියන්ගෙන් මිදී ස්වභාවික ජල ප්‍රභවයන්ට එකතු වීම හෝ පස මත තැන්පත්වීම සිදුවෙනවා.

මෙම ප්‍රශ්නය අප අපේක්ෂා කරන පමණටත් වඩා බැරෑරුම් විය හැක්කේ මෙම ගනණය කිරීම් සියල්ල තාක්ෂණයට ළඟා විය හැකි දුරකට පමණක් වලංගු වන බැවිනුයි. අපට ළඟා විය නොහැකි සාගර මට්ටම් තුළ කොපමණ ප්ලාස්ටික් ප්‍රමාණයක් තැන්පත් වී මේ වන විටත් කුමන ව්‍යසනයන්ට ඉඩ සලසනවාද යන්න ඔබටත් මටත් සිත ගැනීමට හෝ නොහැකියි.


මෙම ව්‍යසනයෙන් මිදීමට නම් රජයන්, කර්මාන්ත මෙන්ම සියලු පුරවැසියන් එකතුව ඉවත ලන ප්ලාස්ටික් ස්වභාවික ප්‍රභවයන්ට එකතු වීම වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍යයි. පර්යේෂකයන් සඳහන් කරන පරිදි ඇසුරුම් සඳහා ප්ලාස්ටික් වෙනුවට නව ආදේශක වෙත යොමු වීමත්, විශේෂයෙන් ප්‍රතිචක්‍රීකරණය කිරීම අපහසු PVC සහ expandable polystyrene භාවිතය මුළුමනින්ම නැවැත්වීමත් ඉතා වැදගත්. ප්ලාස්ටික් කර්මාන්තයන් විසින් නිපදවන ප්ලාස්ටික් ද්‍රව්‍ය නවමු ක්‍රමවේද භාවිතා කර ප්‍රතිචක්‍රීකරණය පහසු ලෙස නිපදවීමට සැලසුම් සකස් කිරීමත් අවශ්‍ය බවයි ඔවුන්ගේ අදහස. කෙසේ නමුත් මෙම පර්යේශකයන් පවසන්නේ මෙම ක්‍රියාමාර්ග සම්පුර්ණයෙන් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ප්‍රතිචරීකරණය (Recycling) මෙන්ම කොම්පෝස්ට්කරණයද කළ හැකි ප්ලාස්ටික් නිෂ්පාදනය අත්‍යාවශ්‍ය බවයි. රසායනික ක්‍රම භාවිතයෙන් මෙම ප්ලාස්ටික් සාගරයට එකතු වීම වැළැක්වීම සඳහා ක්‍රමවේද සැකසීමද ඉතා වැදගත්.


කවර හෝ ක්‍රියාමර්ගයන් මඟින් මෙම තත්වය පාලනය කිරීම සඳහා වහා ක්‍රියාත්මක නොවුනහොත් නුදුරේ ළඟා වන සාගර ජීවීන්, ශාක, මෙන්ම සියලු පෘතුවි වාසීන්ගේ විනාශය ද වැළැක්විය නොහැකි වනු ඇති.

Sources
http://www.theguardian.com/business/2016/jan/19/more-plastic-than-fish-in-the-sea-by-2050-warns-ellen-macarthur
http://www.peoplesworld.org/trashing-the-oceans-more-plastic-than-fish-by-205/
http://news.discovery.com/earth/oceans/more-plastic-than-fish-in-the-ocean-by-2050-160120.htm

No comments:

Post a Comment

Powered by Blogger.